ඩීසල් ලීටර් 10කට රුපියල් 1,000ක සහනයක්
ඩීසල් ලීටර් දහයකට රුපියල් දාහක සහනයක් ලබා දීමට රජය තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඒ අනුව, ඊයේ (මැයි 22) සිට මෙම සහනය ක්රියාත්මක බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අම්පාරේ ජන හමුවක් අමතමිනි.
ඔහු පැවසුවේ, රුපියල් 392 ට ඩීසල් ලීටරය ලබා දුන්නත් වෙළඳපොලේ සැබෑ මිල 492ක් බවත් මීට පෙර ඊට වඩා මිල ඉහළ ගිය බවත් ය.
එමෙන් ම, බහු දින යාත්රාවකට රුපියල් 150,000ක සහනයක්ද දින විසි පහේම මුහුදු යන බෝට්ටු සඳහා රුපියල් 32,250ක ඉන්ධන සහනයක්ද ඒ අනුව ලබාදීමට තීරණය කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
මීට පෙර ජනතා භාණ්ඩාගාරයේ පවතින මුදල් පාලකයාගේ මුදල් ලෙස සිතා ක්රියාකළ නමුත් භාණ්ඩාගාරයේ මුදල් තමාගේ නොව මේ රටේ මහජනතාවගේ මුදල් බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.
