තාත්තගේ පරණ බයිසිකලය විකුණලා ගත්තු වයලීනයෙන් ලෝකයම දිනපු සෙව්වන්දි
සෙව්වන්දිට සංගීතයට තිබුණේ උපන් හැකියාවක්. ඇය ඉස්කෝලේ තියෙන පරණ වයලීනයක් අරගෙන වාදනය කරද්දී මුළු ඉස්කෝලෙම ළමයි වගේම ගුරුවරුත් ඒ දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්. ඒත් සෙව්වන්දිගේ ගෙදරට අලුත් වයලීනයක් ගන්න තියා වේල් තුන හරියට කන්නවත් විදිහක් තිබුණේ නෑ. ඇගේ තාත්තා කුලී වැඩට ගියේ හැතැප්ම ගාණක් දුර තියෙන ටවුමට. ඒ ගමන යන්න තාත්තාට තිබුණ එකම වාහනේ එයාගේ පණ වගේ ආදරේ කරපු පරණ තැපැල් බයිසිකලය විතරයි.
දවසක් ඉස්කෝලේ තියෙන තරගයකට ඉදිරිපත් වෙන්න සෙව්වන්දිට තමන්ගේම කියලා වයලීනයක් ඕන වුණා. ගෙදර ඇවිත් අඬ අඬා හිටපු සෙව්වන්දිගේ ඔළුව අතගාපු තාත්තා, පහුවදා උදේම ගෙදරින් පිට වුණා. එදා හවස තාත්තා ගෙදර ආවේ බයිසිකලෙන් නෙවෙයි, පයින්. හැබැයි තාත්තාගේ අතේ ලස්සන, අලුත්ම වයලීනයක් තිබුණා.
“කෝ තාත්තේ බයිසිකලේ?” සෙව්වන්දි ඇහුවේ පුදුමයෙන්.
“ඒක පරණ වැඩියි දුවේ, මම ඒක විකුණුවා. ඔයා මේකෙන් හොඳට සින්දු ගහන්නකෝ…” තාත්තා හිනාවෙලා කිව්වත්, එදා ඉඳන් අවුරුදු ගාණක්ම තාත්තා කුලී වැඩට ගියේ පයින්මයි. තාත්තා දාඩිය පෙරාගෙන, කකුල් රිදුම් දෙනකල් පයින් ඇවිදගෙන එන හැම දවසකම සෙව්වන්දිගේ හිතට ලොකු ධෛර්යයක් ආවා. ඇය රෑ නිදි මරාගෙන ඒ වයලීනයෙන් පුහුණු වුණා. ඇගේ ඇඟිලි තුඩුවලින් ඇහුණු ඒ නාදය ඇතුළේ තිබුණේ තාත්තාගේ දහඩිය සුවඳයි.
අවුරුදු ගණනාවක් ගෙවිලා ගියා. අද සෙව්වන්දි කියන්නේ ලංකාව විතරක් නෙවෙයි, මුළු ලෝකයම අඳුනන අති දක්ෂ ප්‍රවීණ වයලීන් වාදකයෙක්. ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාගත් ඇය, අද ලෝකයේ ප්‍රසිද්ධම වේදිකාවල තමන්ගේ හැකියාව පෙන්වනවා.
පහුගිය දවසක යුරෝපයේ ප්‍රධාන පෙළේ රඟහලක ඇගේ දැවැන්ත ප්‍රසංගයක් තිබුණා. ඇය වයලීනය වාදනය කරලා ඉවර වෙද්දී දහස් ගණන් සෙනඟ නැගිටලා අත්පොළසන් දුන්නා. ඒ සෙනඟ අතරේ ඉස්සරහම පේළියේ හිටපු කෙනෙක්ගේ ඇස්වලින් සතුටු කඳුළු වැටුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි, එදා දුවගේ හීනය හැබෑ කරන්න තමන්ගේ එකම වස්තුව වුණු පරණ බයිසිකලය විකුණපු ඒ ආදරණීය තාත්තා.
